වසා දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හලේ නිශ්පාදන යලි ඇරඹෙයි – රටේම කඩදාසි අවශ්‍යතාව සපුරන්න සූදානම්

Sharing is caring!

වසා දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හලේ පරීක්ෂණ නිෂ්පාදන කටයුතු මේ මස අවසාන වනවිට යළි ආරම්භ කරන බව එහි සභාපති විමල් රූපසිංහ පැවසීය.

වාණිජ මට්ටමෙන් සිදුකළ නොහැකි වුවද වසංගත තත්ත්වය හේතුවෙන් එහි කටයුතු අකර්මණ්‍ය කළ නොහැකි බැවින් එම කම්හල යළි ආරම්භ කරන බවද ඔහු කීවේය. දීර්ඝකාලයක් වසා දමා තිබූ මෙම කම්හල පසුගිය අප්‍රේල් 7 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිතව තිබිණි. මෙම කම්හල යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්ද නිකුත් කර තිබෙන බව කී සභාපතිවරයා එමගින් පැවැති විදුලි අර්බුදයට විසඳුම් ලබාදී තිබෙන බවද පැවසීය.

ඇඳිරි නීතිය පැවැති කාලයේදී අදාළ යන්ත්‍ර සූත්‍රවල අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතින බවත්, ඒවායේ ක්‍රියාකාරීත්වය කම්හලේ ආරම්භ කිරීම සඳහා ලබාගැනීමට නියමිත බැංකු ණය සම්බන්ධව වැදගත් වන බවද ඔහු කීවේය. ඇඳිරි නීතිය හේතුවෙන් සේවකයන්ගේ පැමිණීම සහ ප්‍රවාහන කටයුතුවලට බාධා තිබුණද ඒවා මගහැර ගනිමින් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වාලච්චේන කඩදාසි කම්හලේ ඉතිහාසය සහ යලි ගොඩනැගෙන අයුරු

දශක ගණනාවකට එහා නොව වසර ගණනාවකට එහා දහස් ගණන් සේවකයන්ගේ කතාබහෙන් සහ යන්ත්‍ර සූත්‍රවලින් නොකඩවා නැගුණු හඬින් පිරී ඉතිරී තිබූ අක්කර තුන්සිය ගණනක භූමි භාගය යම් තරමක නිහැඬියාවක ගිලී තිබේ. බැලූ බැලූ අත අබලන් වී ගිය දිරාගිය ගොඩනැඟිලිය. කලක් විරාජමානව සිටි බවට සාධක සපයන ඒ උස් ගොඩනැගිලි ටිකෙන් ටික එළිපෙහෙළි වෙමින් නව පණක් ලබන බව දක්නට ලැබේ. දිගු නින්දකින් පසු මේ හෙමි හෙමින් පිබිදෙන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර කෙළවරෙහි පිහිටි ආසියාවේ හොඳම කර්මාන්ත ශාලාව ලෙස විරුදාවලි ලත් වාලච්චේන පිහිටි ශ්‍රී ලංකා කඩදාසි සමාගමයි .

තාර ගැලවී වළවල් පෑදී ඇති මාර්ගයේ කාපට් අතුරන පිරිසකි. බිඳවැටුණු අබලන් වී ගිය යන්ත්‍රසූත්‍ර අලුත්වැඩියා කරන තවත් පිරිසකි. ඒ අතර ගරා වැටුණු ගොඩනැගිලි කිහිපයක් නැවත ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. සදාකාලික නින්දකට වැටෙන්නට ඉඩ තිබූ කඩදාසි කර්මාන්ත ශාලාවට නැවත පණ දෙන්නට සූදානම් වූ යෝධ ධෛර්යකින් යුතු කිහිපදෙනකු මේ කටයුත්ත පිටුපස සිටිති.

ජී. ජී. පොන්නම්බලම් මහතා කර්මාන්ත අමාත්‍ය ධූරය දැරූ 1951 වසරේ මුල් ගල් තැබූ, කඩදාසි කර්මාන්ත ශාලාව වැඩ ඇරඹා තිබෙන්නේ 1956 වසරේ දීය. ජර්මනියේ ජේ. එම්. වයිට් සමාගමෙන් ලොවම දන්නා ‘වොයිත්’ මැෂින්වලට ඇත්තේ ජීවිත කාලයටම බලාත්මක වගකීම් සහතිකයකි. එවකට අක්කර 525 ක බිමකට හිමිකම් කී යන්ත්‍ර සූත්‍ර ගණනාවකින් සමන්විත කඩදාසි සමාගම අක්කර සියයක් පමණ පුරා විහිදී පැතිරුණු ගොඩනැගිලි සංකීර්ණයකින් යුක්තය.

ඉතාම දියුණු සහ සශ්‍රීක කර්මාන්ත ශාලාවක් ලෙස අතීතයේදී ෆයිල් කවර සහ කඩදාසි නිෂ්පාදන සිදු කළ වාලච්චේන කඩදාසි සමාගමෙහි මුල් කාලීන නිෂ්පාදන අමුද්‍රව්‍ය වූයේ පිදුරු ය. පසුකාලීනව ඉවතලන කඩදාසි යොදාගෙන නිෂ්පාදන කටයුතු සිදුකළ මෙහි යන්ත්‍රාගාර දෙකක්, විද්‍යාගාරයක්, වැඩබිමක්, ගබඩා සංකීර්ණයක්, කාර්යාල කිහිපයක් සහ සේවක නිවාස සංකීර්ණයක්ද පිහිටා තිබුණේ සම්පූර්ණ ගොඩනැගිලි 85 කින් සහ නිලනිවාස 25 කින් යුක්තවය. දැවැන්ත ව්‍යාපෘතියක්ව පැවැති වාලච්චේන කඩදාසි සමාගමේ සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ සේවාවක් පවා යොදවා තිබූ බව එහි සේවය කළ පිරිස පවසති.

වර්තමානය වන විට කැඩී බිඳී ගිය අතරින්පතර ඉතුරු වූ රේල් පිහිලි කීපයකින් යුක්ත රේල්පාර අතීතයේදී කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන කඩදාසි කොළඹට රැගෙන එන්නට භාවිතා කළ දුම්රිය මාර්ගයේ කර්මාන්ත ශාලාව තුළට ගමන් කළ කොටසයි.

අද වන විට යළි නැගී සිටින්නට සූදානම් වන කඩදාසි සමාගමේ ස්වර්ණමය යුගය 1990 – 1995 අතර කාලය බව කඩදාසි සමාගම සමග බැඳුණු අතීතයක් ඇති සියල්ලන්ගේ මතකයන්හි රැඳී තිබේ. අතිසාර්ථක කර්මාන්තයක් ලෙස ලොව පුරා නම රඳවන්නට සමත් වූ කඩදාසි සමාගමෙහි ‍ප්‍රධාන යන්ත්‍රය ජීවිත කාලීන වගකීමක් සහිතව හිමි වූ නිසා සහ පරිත්‍යාගයක් බැවින් එහි වටිනාකම තක්සේරු කරන්නට ද හැකියාවක් නොමැත. එයට වටිනාකමක් දෙන්නට නම් එය ක්‍රියාත්මක කර නැවත එයින් ප්‍රයෝජනයක් ලබන්නට හැකි ආකාරයෙන් සකස් කළ යුතුය.

අද වෙනවිට මෙම ක්‍රියාදාමය ඇරඹී තිබේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාට මුණගැසුනු කඩදාසි කර්මාන්තය පිළිබඳ හසල දැනුමකින් හෙබි srinko සමූහ ව්‍යාපාරයේ සභාපති විමල් රූබසිංහ මහතා එකිනෙකාට නොපරදින දැඩි අධිෂ්ඨානයකින් යුතුව මෙම කටයුත්ත සාර්ථක කරගන්නට දැඩි උත්සාහයක් දරයි.

ජීවිත කාලය පුරා බාල මහලු කා හටත් විවිධ කාර්යයන් සඳහා අවශ්‍ය වන කඩදාසියට ලංකාව තුළ දීම යළිත් පණ දෙන්නට දරන මේ දැවැන්ත උත්සාහය පිටුපස ඒ විමල් මේ විමල්ටද මේ විමල් ඒ විමල්ටද ලබා දෙන අභියෝගාත්මක කඩඉම ජය ගන්නට ඔවුනොවුන් දරන වෑයම සහ ව්‍යාපෘති කළමනාකාර බන්දුල කරුණාරත්න, උපදේශක සුදේෂ්, සම්බන්ධීකාරක සුගත් ලියනගේ ඇතුළු නිලධාරි මණ්ඩලයෙහි දැඩි කැපවීම රැඳී තිබේ.

ශ්‍රී ලංකාවේ පාසල් පෙළ පොත් නිෂ්පාදනය කිරීම සඳහා පිටරටින් ආනයනය කරන කඩදාසි ලංකාව තුළම නිෂ්පාදනය කරමින් රටේ මුදල් රට තුළම ඉතිරි කර ගැනීම මෙම කර්මාන්තශාලාවට නව පණක් දීමෙහි මූලික අභිප්‍රාය බව එහි නව සභාපති විමල් රූබසිංහ මහතා සඳහන් කරයි.

ඉංජිනේරුවරුන් පිරිසක් සමඟ ජනවාරි මාසයෙහි මෙම කර්මාන්ත ශාලා පරිශ්‍රය පුරා සංචාරයක නිරත වූ විමල් වීරවංශ අමාත්‍යවරයා කර්මාන්ත ශාලාව පැවැති ජරාජීර්ණ තත්වය සහ අභාවයට ගොස් ඇති ආකාරයත් ලක්ෂ ගණන් වටිනා යන්ත්‍ර සූත්‍ර කොටස්, මෝටර් සහ විදුලි රැහැන් පවා සොර සතුරන්ගේ ග්‍රහණයට හසු වී ඇති ආකාරයත් දැක එය නැවත යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳ පූර්ණ විශ්වාසයකින් තොරව වුවත් ඉතා සංකීර්ණ වූ එම අභියෝගය විමල් රූබසිංහ මහතා හමුවේ තැබුවේය.

සිවු වසරකට පෙර ඈවර කිරීමේ කැබිනට් පත්‍රිකාවක් යටතේ විශ්‍රාම ගැන්වීමේ දීමනා ලබා දෙමින් සේවකයන් ඉවත් කොට සම්පූර්ණයෙන්ම වසා දැමූ කඩදාසි කර්මාන්ත ශාලාව තුළ ඉතිරි වී සිටි සේවකයන් හත් දෙනා ද සමගින් පෙබරවාරි මාසයේදී වැඩභාරගත් සභාපති විමල් රූබසිංහ ඉන්දීය විශේෂඥයන් පිරිසක් රැගෙන විත් මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.

කර්මාන්ත ශාලාව තුළ පැවැති බොයිලේරුව ක්‍රියාත්මක කරන්නට කිසිසේත්ම හැකියාවක් නැති බව සියලු දෙනා පවසද්දී නව බොයිලේරුවක් මිලදී ගන්නට මිලියන 25ක මුදලක් වැය කරනවා වෙනුවට ඉන්දීය විශේෂඥයින් යොදාගෙන අවම මුදලකින් එය යථා තත්ත්වයට පත්කරන්නට විමල් රූබසිංහ මහතාට හැකි වී තිබේ.

රජයට දැරිය හැකි පිරිවැය සහ ලබාදිය හැකි සහයෝගය යටතේ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගොඩනැගීම පළමු අදියරේදීම සිදුකළ නොහැකි වුවත් අවම මුදලකින් යන්ත්‍රයෙහි අත්‍යාවශ්‍යම කොටස නවීකරණය කර බොයිලේරුව සමග සම්බන්ධ කර නැවත කඩදාසි නිපදවීම අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට ආරම්භ කරන්නට සියලු කටයුතු මේ වන විට ලහි ලහියේ සිදු වෙමින් පවතී.

මිලියන ගණනක් වූ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව බිඳ වැටී තිබූ විදුලිය විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා මාර්ගයෙන් නැවත ලබාගෙන, පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර දෙසතියක් යන්නටත් මත්තෙන් කර්මාන්තශාලාව වෙත ජලය ලබා ගන්නා නල මාර්ග පද්ධතිය නැවත යථා තත්වයට පත්කර ගනිමින් මේ වන විට සුවිශේෂී ජයග්‍රහණ රාශියක් අත්කර ගන්නට මෙම කටයුත්ත පිටුපස සිටින පිරිසට හැකියාව ලැබී තිබේ.

කඩදාසි නිපදවීම සඳහා පල්ප 10% ක ප්‍රමාණයකට ජලය 90% ක් සහ විසෙන් තොර chemical වර්ගයක් භාවිතා කරන අතර කඩදාසි ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා ඉවත ලන කඩදාසි ටොන් 1.2 යොදාගනී. මේ සඳහා භාවිතා කරන ජලය නැවත ප්‍රතිචක්‍රීකරණය කරමින් නැවත නැවතත් ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සකස් කරන්නට ව්‍යාපෘති ඉංජිනේරුවරුන් ක්‍රමවේද සකස් කරමින් සිටියි.

අදියර කිහිපයකින් නැවත නගා සිටු වීමට අදහස් කරගෙන සිටින වාලච්චේන කඩදාසි සමාගමෙහි ‍ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ලබාදෙන දායකත්වය ඉතාම ඉහළින් අගය කළ යුතුය. අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ආරක්ෂක ලේකම්තුමාගේ සහ රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගය මෙම කටයුත්තට ලැබීම නිසා අඩු පිරිවැයකින් මේ කටයුතු සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

කිසිදු කටයුත්තක් සඳහා යොදාගත නොහැකි අබලි ද්‍රව්‍ය රාශියක් මෙහි තිබෙන අතර ඒවා ටෙන්ඩර් පටිපාටියක් මගින් නිසි ක්‍රමවේදයකට අලෙවි කර එම මුදල් මෙම කර්මාන්තශාලාව වැඩි දියුණු කර ගැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට සභාපතිවරයා අදහස් කර තිබෙන අතර මිලියන 400 ඉක්මවා තිබූ විදුලි බිල වසර දෙකකට පසු ගෙවිමේ එකඟතාවයක් විදුලිබල මණ්ඩලය සමඟ ඇති කර ගැනීමට හැකිවීම කර්මාන්තය නැවත නගා සිටුවීමේ දී ලබාගත් ජයග්‍රහණ අතරින් එකකි.

ප්‍රවාහන කටයුතු, යාන්ත්‍රික කටයුතු සහ බිල්ඩින් අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා යුද හමුදාවේ දායකත්වය හිමි වී තිබෙන අතර අතීතයේ දී කර්මාන්ත ශාලාව තුළට දුම්රියක් ගමන් කරන්නට හැකි ආකාරයෙන් ඉදි වී තිබූ දුම්රිය මාර්ග පද්ධතිය ද ඉදිරි අදියරකදී නැවත යථා තත්ත්වයට පත්කර ගන්ට අදහස් කර ගෙන සිටියි.

ආරම්භයේ දී දිනකට ටොන් 7 සිට 10 දක්වා ප්‍රමාණයක කඩදාසි නිෂ්පාදනය කිරීම බලාපොරොත්තු වන අතර එය ටොන් 75 දක්වා වැඩි කර ගැනීමට ද අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව මේ වන විට වසරකට රුපියල් මිලියන 99000 ක පමණ කඩදාසි ආනයනය කරන අතර දැනට ලංකාවේ ඉවතලන කඩදාසි ඉන්දියාවට යැවීම සිදු කරමින් පවතී. ලංකාවේ ඉවත ලන කඩදාසි ලංකාව තුළම ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන කඩදාසි හේතුවෙන් වසරකට රටින් පිටට ගලා යන විශාල මුදල් කන්දරාවක් රට තුළම ඉතුරු කර ගැනීමට හැකියාව ලැබේ. පළමු වැදිරි වැඩ නිමකිරීම සඳහා කෝටි 80 ක ට තක්සේරු කර ඇති නමුත් මේ වන විට ද මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ ආරක්ෂක අංශවල ද විදුලිබල මණ්ඩලයේ ද උපකාර ඇතිව බිලියන දෙසීයක පමණ වැඩ ඉතා අඩු පිරිවැයකින් අවසන් කර තිබේ.

නැවත පණ නගන වාලච්චේන කඩදාසි සමාගමෙන් ඉදිරියට විශාල ජල ව්‍යාපෘතියක් සහ සෝලා පැනල් ව්‍යාපෘතියක් සඳහා ඉඩ වෙන් කරන්නට සූදානමින් සිටි සිටි.

මේ සියල්ල සමගින් හෙට දිනයේ යළිත් ක්‍රියාත්මක වන වාලච්චේන කඩදාසි සමාගම තුළින් යළිත් යන්ත්‍රසූත්‍ර හඬ නගන අතර රැකියා හිමිකරගන්නා ශ්‍රමිකයන්ගේ සතුටු සිනා හඬ ද නැගෙනහිර අහසට මුදා හැරෙනු ඇත.

 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares
error: Content is protected !!