රණවිරුවන් 400 ක් දීවිපුදා නැගෙනහිර කොටි බල බිදි සාම්පූර් මහ සටන

Sharing is caring!

මාවිල්ආරු සොරොව්ව විවෘත කළ හැටි – සාම්පූර් මුදාගත් හැටි.

මෙම ලිපිය කියවා ශෙයාර් කරන්න අපේ රණවිරුවන්ගේ අප්‍රමාණ කැපකිරීම වෙනුවෙන් මෙය පලකරන ලදී.

සේරු නුවර මාවිල නමැති ප‍්‍රදේශයේ දී මහවැලි ගඟේ අතු ගංගාවක් හරස් කැර වේල්ලක් බැඳීමෙන් අල්ල ගොවි ජනපදය ආරම්භ කැරිණි. අල්ල ගොවි ජනපදයේ කුඹුරු අක්කර 6500 කට ජලය සැපයුණේ මාවිල ජලයෙනි. ජනගහනයේ වර්ධනයත් සමග ඊච්චලන්පත්තු හා මුතූූර් ප‍්‍රදේශවල වගා කටයුතු සඳහා ද මාවිල්ආරු ජලය ලබා ගැනීමත් සමඟ ම අස්වද්දන කුඹුරු ප‍්‍රමාණය අක්කර 30,000 දක්වා ඉහළ ගියේ ය.

ජලය යනු මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය දෙයකි. පරිභෝජනය ඇතුළු වෙනත් දහසකුත් කාර්යයන් සඳහා ද ගොවිතැන් කටයුතු සඳහා ද ජලය අවශ්‍ය කැරේ. ජලයේ අවශ්‍යතාවට මුවා වී සිය අරමුණු ඉටු කැර ගැනීමේ අරමුණින් එල්. ටී. ටී. ඊ. ය 2006 ජූලි 20 වැනි දින මාවිල්ආරු සොරොව්ව වසා දැමුවේ 15000 ක අහිංසක ජනතාව ප‍්‍රාණ ඇපයට තබමිනි. අක්කර 30000 ක කුඹුරු යායක සරුසාර අස්වැන්න වේළී යාමට ඉඩ හරිමිනි.

ස්වාභාවික සම්පතක් වන ජලය භªක්ති විඳීමේ නිදහස නැති කිරීම ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය ප‍්‍රජාවක කාර්යය නොවේ. එහෙත් කොටි ම්ලේච්ඡ අමානුෂික මිනීමරු සංවිධානයක් නිසා ඔවුන් එම මානුෂික අයිතිය පිළිබඳව තැකීමක් කෙළේ නැත.

ජලය නොමැතිවීමෙන් දුෂ්කරතාවට පත් ජනතාවට ජලය ලබා දීම සඳහා රජය සාකච්ඡා මාර්ගයෙන් සොරොව්ව විවෘත කරවා ගැනීම සඳහා ප‍්‍රබල උත්සාහයෙක යෙදුණේ ය. රජයේ ස්ථාවරය වූයේ කොටින් ගේ කොන්දේසිවලට රජය යම් අවධානයක් යොමු කිරීමට නම් පළමුව සොරොව්ව විවෘත කළ යුතු ය යන්න ය. එහෙත් කොටින් ගේ අරමුණ වූයේ ජලය ලබා දීමට නම් ඔවුනගේ ඉල්ලීම් ඉටු කළ යුතු ය යන්න ය. එල්. ටී. ටී. ඊ. ය කිසිදු නම්‍යශීලි ප‍්‍රතිපත්තියක් අනුගමනය නො කෙළේ ය. ඔවුනගේ අරමුණු වී තිබුණේ එය තමන්ට අයත් භූමි ප‍්‍රදේශයක් යැයි කියමින් මාවිල්ආරු සොරොව්වේ කටයුතු තමන්ට අභිමත පරිදි සිදු කිරීම ය.

කොටින් ගේ අරමුණ ඉටු කැර ගැනීමට රජයක් වශයෙන් කිසිසේත් ඉඩ දිය නොහැකිවූ නිසා මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමක් ආරම්භ කිරීමට රජය තීරණය කෙළේ ය.

2006 ජූලි 26 වැනි දා ආරක්‍ෂක හමුදා සේනාංක ගමන් ආරම්භ කෙළේ කල්ලාර් ප‍්‍රදේශයෙනි. රජයේ ආරක්‍ෂක හමුදා මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමට එන බව අවබෝධ කැර ගත් එල්. ටී. ටී. ඊ. ය මාවිල්ආරු ප‍්‍රදේශය පුරා බෝම්බ අතුරා ආරක්‍ෂක හමුදා වෙත මෝටර් ප‍්‍රහාර එල්ල කරමින් එම ගමන නැවැත්වීමේ ප‍්‍රබල උත්සාහයෙක යෙදුණේ ය.

මාවිල්ආරු ප‍්‍රදේශයේ දැඩි සටනෙක යෙදෙන්නට ආරක්‍ෂක අංශවලට සිදු වූ අතර ගුවන් හමුදාවේ සහාය ද පාබල හමුදාවලට ලැබිණි. නැඟෙනහිර කොටින්ට ගුවනින් ප‍්‍රහාර එල්ල කරමින් බරපතළ හානි සිදු කරන්නට ගුවන් හමුදාව සමත් විය.

ආරක්‍ෂක හමුදා මාවිල්ආරු සොරොව්ව ග‍්‍රහණයට ගැනීමට ඉදිරියට ඇදෙන බවත් එහි පාලනය තමන්ට අහිමි වන බවත් කොටින්ට අවබෝධ වීමත් සමඟ ප‍්‍රහාර එල්ල කරමින් හමුදාවේ ගමනට බාධා පමුණුවන්නට කොටි උත්සාහයෙක යෙදුණහ.

කොටි මාවිල්ආරු සොරොව්ව වසා දමන මොහොත වන විට කුඹුරු අක්කර 10,000 ක වගා කටයුතු ආරම්භ කොට තිබුණ. ජලය නොමැති වීමෙන් ක‍්‍රමක‍්‍රමයෙන් කේඬෑරී වී වියළී යන බණ්ඩි ගොයම දෙස බලමින් ගොවීන් සුසුම් හෙළන අයුරු ආරක්‍ෂක හමුදාවල වීරෝදාර භටයන්ට ඇස ගැටුණා සැක නැත.

ඔවුනගේ චිත්ත ධෛර්යය ඒ නිසා ම තව තවත් වර්ධනය වූයේ ය. අඩියෙන් අඩිය බිම අතුරා තිබූ ජොනි බෝම්බ ඉවත් කිරීම ආරක්‍ෂක හමුදාවට එල්ල වූ ප‍්‍රබල අභියෝගයක් විය.

දින කිහිපයක් තිස්සේ මාවිල්ආරු ප‍්‍රදේශයේ ආරක්‍ෂක හමුදාවල බරපතළ ප‍්‍රහාරවලට ලක්වෙමින් සිටි එල්. ටී. ටී. ඊ. යට අවශ්‍ය වූයේ රජයේ ආරක්‍ෂක හමුදාවල අවධානය වෙනතකට යොමු කිරීමට ය. ඒ අරමුණින් කන්කසන්තුරේ සිට ති‍්‍රකුණාමලය දක්වා හමුදා සෙබළුන් ප‍්‍රවාහනය කරන නෞකාවකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ ද එය ද අසාර්ථක විය. ඉන් පසු ති‍්‍රකුණාමලය නාවික තටාකාංගණය දෙසට ප‍්‍රහාර එල්ල කෙළේ ය. එහෙත් එම ප‍්‍රහාර සාර්ථක ලෙස මැඬ පවත්වන්නට ආරක්‍ෂක හමුදා සමත් විය.

මේ අතර වාකරේ කදිරවේලි ඊච්චලන්පත්තු ප‍්‍රදේශවල සිට ට‍්‍රැක්ටර් මගින් මාවිල්ආරු දක්වා කොටි සෙබළුන් රැගෙන ඒමට එල්. ටී. ටී. ඊ.ය උත්සාහ දැරූ අතර අල්ල හා කල්ලාර් කඳවුරුවල සිට හරියට ම ඉලක්කවලට එල්ල වූ කාලතුවක්කු හා මෝටාර් ප‍්‍රහාරවලින් එම ට‍්‍රැක්ටර් හා ඒවායේ සිටි කොටි ත‍්‍රස්තවාදීන් විනාශ කර දැමීමට ආරක්‍ෂක අංශ සමත් විය.

එල්. ටී. ටී. ඊ. ය ජලය සැපයීමට බාධා පමුණුවමින් කළ අමානුෂික කි‍්‍රයාව දෙවැනි වූයේ එදා ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් විරුද්ධවාදීන් විනාශ කිරීමට උපයෝගී කර ගත් උපක‍්‍රමවලට පමණෙකි.

මාවිල්ආරු අමුණ මුදා ගැනීමේ අරමුණ පසුපස තිබුණේ මානුෂික හේතූන් ය. එය මානුෂික අයිතීන් ආරක්‍ෂා කර ගැනීම සඳහා කි‍්‍රයාත්මක වු මෙහෙයුමකි.

ආරක්‍ෂක අංශ මෙම මෙහෙයුම සිදු කරන අවස්ථාවේ මාවිල්ආරු සොරොව්වෙන් දිය සැපයුණු ගම් බිම්වල සිටි ගොවි ජනතාව දැරූ මතය ආරක්‍ෂක හමුදාවලට විශාල ශක්තියක් විය. මාවිල්ආරු සොරොව්ව ආශ‍්‍රිත කුඹුරු අක්කර දහස් ගණනක් කුඹුරුවල අස්වැන්න විනාශ වීමෙන් දුක් විඳි ගොවීන් කීවේ මෙවන් කතාවකි. අපි වගා කළ කුඹුරු වතුර නැතිව විනාශ වෙලා ඉවරයි. අපට අවශ්‍ය කරන්නේ අපේ ආරක්‍ෂක හමුදා මෙහෙයවීමෙන් මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමයි. එවිට මීට පෙර තිබූ ආකාරයට අපේ ගොවිතැන් කටයුතු නැවතත් ආරම්භ කරන්න පුළුවන්. අපට ගොවිතැන් විනාශ වීමෙන් සිදු වූ පාඩුව බරපතළයි. ඒත් මාවිල්ආරු ජලය අපේ හමුදා මෙහෙයුමෙන් නැවත ලබා ගැනීම අපේ කැමැත්තයි.

දිනෙන් දින මාවිල්ආරු සොරොව්ව වෙත ආරක්‍ෂක අංශ ළඟා වන අයුරු ඒ ප‍්‍රදේශයේ ජනතාව බලා සිටියේ මහත් උනන්දුවෙනි. ඔව්හු ආරක්‍ෂක අංශවලට ධෛර්යය ලබා දුන්හ.

දින 19 කට පසු මාවිල්ආරු අමුණ විවෘත කිරීමට ආරක්‍ෂක අංශ සමත් වූ අතර දින 19 ක් තිස්සේ පැවැති සටනින් පසු ආරක්‍ෂක භටයින් මාවිල්ආරු සොරොව්ව වසා එල්. ටී. ටී. ඊ. ය යොදා තිබූ ඉබි යතුරු ගළවා දැමී ය.

මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමත් සමඟ ඇළ මාර්ග ඔස්සේ ජලය ඇදී ගියේ අවට ප‍්‍රදේශවාසීන් ගේ සිත් සතන් සොම්නසට පත් කරවමිනි.

මේ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ගොවි ජනතාව එකාවන් ව සතුටට පත් වූහ. මාවිල්ආරු අමුණ වසා දැමීම නිසා විනාශයට පත් කුඹුරු අයිතිකරුවන්ට වන්දි ගෙවීමට ද රජය කටයුතු කෙළේ ය.

කුඹුරු අක්කරයකට උපරිම රුපියල් 25000 ක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කිරීම ප‍්‍රශස්ත කරුණකි.

මාවිල්ආරු සොරොව්ව වසා දැමීම පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2006 අගෝස්තු 5 වැනි දා සර්ව පාක්‍ෂික සමුළුව අමතමින් කළ කතාව ද ඉතා වැදගත් ය. ජනාධිපතිතුමා කීවේ මාවිල්ආරු සොරොව්ව වසා කොටි මූලික මිනිස් අයිතිවාසිකම් මෙන් ම ජිනීවා ප‍්‍රඥප්තිය ද උල්ලංඝනය කළ බව ය.

කොටින් ගේ යටි අරමුණ ගැන විස්තර කළ ජනාධිපතිතුමා සැලසුම් සහගතව අපේ හමුදා යුද්ධයට කැඳවා ගැනීම ඔවුන් ගේ උපක‍්‍රමය වූ බව සඳහන් කෙළේ ය.

මේ ප‍්‍රශ්නයේ දී ප‍්‍රභාකරන් ගේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය හමුවේ එඩිතරව කටයුතු කළ ආරක්‍ෂක හමුදාවලට මාවිල්ආරු සොරොව්ව ආශ‍්‍රිත ගොවි ජනතාව ගේ පමණක් නොව සමස්ත ශ‍්‍රී ලංකාවේ ම සාමය හා මිනිස් නිදහස අගයන ජනතාව ගේ ප‍්‍රශංසාව හිමි විය යුතු ය.

මාවිල්ආරු සොරොව්ව විවෘත කළ රණවිරුවෝ ඇළ මාර්ග ඔස්සේ වියළී ගිය භූමි ප‍්‍රදේශයත් ජලය නොමැතිව විනාශ වී ගිය කුඹුරු යායත් දෙස බලා සැනසුම් සුසුමක් හෙළුෑහ. එහෙත් ඔවුනගේ කාර්යභාරය එතැනින් නවතින බවක් නොපෙනිණි.

ඔවුහු එතැන් සිට සමස්ත මාවිල්ආරු ප‍්‍රදේශය ම මුදාගෙන කට්ටපරිච්චාන් ප‍්‍රදේශය ද අත්පත් කර ගත්හ.

සාම්පූර් ප‍්‍රදේශය මුදා ගැනීමේ කි‍්‍රයාන්විතය ආරම්භ වූයේ ඉන් පසුව ය. සාම්පූර් කොටි බලය පැවැති ප‍්‍රදේශයක් වීමෙන් ති‍්‍රකුණාමලය වරායට බලවත් තර්ජනයක් ව පැවැතිණි.-

සාම්පුර්, මුදා ගැනීමේ කි‍්‍රියාන්විතය පැවැතියේ සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 04 දක්වා කාල සීමාව අතර ය.

ප‍්‍රභාකරන් ගේ ඊනියා ඊළාම් සිහිනයේ අගනුවර ලෙස නම් කැර තිබුණේ ති‍්‍රකුණාමලය යි. සාම්පූර්වල වැදගත්කම ප‍්‍රභාකරන්ට ඉතා විශාල විය. එම නිසා සාම්පූර් රැක ගැනීම සඳහා සිය උපරිම ශක්තිය යොදවා පෙරට එන ආරක්‍ෂක හමුදා වළකාලීම ප‍්‍රභාකරන් ගේ අරමුණ විය.

සාම්පූර් විජයග‍්‍රහණය කිරීමට අතරමග බාධක කොටි කඳවුරු හා ඔවුනට අයත් වාහන විනාශ කරමින් ඉදිරියට ඇදුණු භට පිරිස්වලට අවශ්‍ය කරන ඉලක්ක කරා ගුවන් හමුදාව මගින් ගුවනේ සිට ප‍්‍රහාර එල්ල කිරීම නිසා කොටින්ට සිදු වූයේ ක‍්‍රමක‍්‍රමයෙන් පසු බැසීමට ය.

නාවික හමුදාව කොටින් ගේ මුහුදු සැපයුම් මාර්ගවලට බාධා එල්ල කරමින් කොටිනට අවශ්‍ය අවි ආයුධ හා භටයන් ගෙන ඒමට බාධා පැමිණවී ය.

වීරෝදාර ආරක්‍ෂක හමුදා භටයන් ගේ ප‍්‍රහාර හමුවේ කොටින්ට ඔවුනගේ අවි පවා අතහැර දමා තොප්පිගල බලා පසු බසින්නට සිදු විය.

ඇසට නින්දක් කුසට අහරක් නැතිව කොටි ප‍්‍රහාර හමුවේ නොසැලී එක ම ඉලක්කය වන සාම්පූර් මුදා ගැනීමේ කි‍්‍රයාන්විතය දිගින් දිගට ම කි‍්‍රයාත්මක කළ අපේ වීරෝදාර ආරක්‍ෂක හමුදා පෙරමුණ බලා ගමන් ගත්හ.

දිවි පරදුවට තබා රට ජාතිය වෙනුවෙන් ඔවුන් කළ අමිල මෙහෙය නිසා කොටින් නැඟෙනහිරින් පළවා හැරීමට හැකි වී තිබේ.

එපමණක් නොවේ, එල්. ටී. ටී. සන්නද්ධ නායක ස්වර්ණම් සාම්පූර් අතහැර වාකරේ දක්වා පසුබැස ගියේ ය.

පුරා වසරක පමණ කාලයක් මුළුල්ලේ පැවැති නැඟෙනහිර මුදා ගැනීමේ සටනේ දී රණවිරුවන් පෑ දස්කම් මෙන් ම සටන් පෙරමුණට නායකත්වය දුන් සේනා විධායකයන්ට ද මේ ජයග‍්‍රහණය සම්බන්ධව ප‍්‍රණාමය හිමි විය යුතුය.

Share

2 Comments

  1. වසන්ති ගුණරත්න Reply

    මගේ සහෝදරයා මිය ගියේද සාම්පූර් මෙහෙයුමේදී බව වේදනාවෙන් උවද සිහිපත් කිරීමට කමත්තෙමු.රටක් විදිහට ලබාගත් ජයග්‍රහණය නිසා ඒ වේදනවන් යටපත් කිරීමට හැකියාවක් මට ඇති බවද සතුටින් පවසම.
    වසන්ති ගුණරත්න.

  2. Nuwan Reply

    It is very important to have the records of the the war in the form of books for the general public to have the proper understanding of it. I have read a few books written by Mr Kamal Gunarathne and also another book about the Kokavil camp. We should write this important history before the actual witnesses die.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares
error: Content is protected !!