දහම් බෙරහඬ නිසල කළ අරන්තලාව මහා භික්ෂු ඝාතනයට වසර 33 යි

Sharing is caring!

අරන්තලාව මහා භික්ෂු ඝාතනයට වසර 33 යි..! සාමනේර ස්වාමින්වහන්සේලාම 31 නමක් ඒ අතර..!‍‍‍

අම්පාර දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර හා කටුක පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක් වන්නේ අරන්තලාව හා මංලගමයි. මෙවන් වූ පරිසරයකට හිමිකම් කී අරන්තලාව ලොව ප්‍රසිද්ධ වන්නේ ඉතාමත් අමානුෂික හා අනුවේදනීය සිද්ධියක් මුල් කරගනිමිනි. ඒය අන් කිසිවක් නොව කොටි ත්‍රස්තවාදීන් 1987 ජූනි මස 02 වැනි දින කසාවත පෙරවූ සංඝයාවහන්සේලා 31 නමකගේ ලේ වලින් එම පරිසරය රත් පැහැ කළ නිසාය.

අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ හා මහාවාපි පිරිවෙනේ ස්විමීන් වහන්සේලා වාර්ෂික අධ්‍යාපන චාරිකාවක නිරත වන්නේ විවිධ දැනුම ලබා ගැනිම අරමුණිනි. චාරිකාව ආරම්භ කර කිලෝ මීටර් කිහිපයක් ස්වාමීන් වහන්සේලා වැඩම කළේ ඉමහත් සතුටිනි. දින තුනක් ලංකාවේ විවිධ ස්ථාන වලට යාමට අරමුණු කර තිබුණත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටි බස් රථය මහ මූකලානට රැගෙන ගියේ අවි ගත් කොටි ත්‍රස්තවාදීන් දෙදෙනෙකි.

ඒ වන විටත් බස් රථය කොටින් 40 ක් පමණ වට කොට සිටියේ සියලු ස්වාමීන් වහන්සේලා බිලි ගැනීමේ චේතනාවෙනි. එක් කොටි ත්‍රස්තවාදියකු නායක ස්වාමීන් වහන්සේගේ හිස දෙබෑ කරමින් කඩු පහර එල්ල කළේ එඩිතර ස්වාමීන් වහන්සේ නමක් ජාතියට අහිමි කරමිනි. ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේගේ දේහය රුධිරයෙන් නෑවෙද්දී සිත් පිත් නැති කොටි ත්‍රස්තවාදීන් කුඩා ස්වාමීන් වහන්සේලාගේ විලාපය මැද්දේ කපා කොටා වෙඩි තබමින් 31 නමකගේ දිවි තොර කරන ලදි.

ස්මාරකය අභියස භික්ෂු බස් රථය රැකවල් ලා සිටි තවත් කොටි ත්‍රස්ථතවාදීන් බස් රථය වටේට වෙඩි තැබුවේ වැටී සිටි ස්වාමීන් වහන්සේලාගේ ශරීරය පසාරු කරමිනි. චාරිකාවේ නියැලුණ ස්වාමීන් වහන්සේලා දස දෙනෙකුගේ ජීවිතය රැකුනේ ආශ්චර්යක් ලෙසිනි. එවකට කුඩා අවධියේ පසු වූ ස්වාමීන් වහන්සේලා මේ වන විට මුහුකුරා වයසේ පසුවෙයි. මේ ස්වාමීන් වහන්සේලා අතර රිදී මාලියද්ද දහම් සෙවනේ විහාරාධිපති ආදා උල්පත බුද්ධසාර හාමුදුරුවෝ කැපුම් තුවාල සහිතව අදත් පසුවන්නේ තුනටියෙන් පහළ පන නැති ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙසයි.

එදා පාලුවට ගිය අරන්තලාව වර්තමානය වන විට ජනයා පදිංචි වෙමින් පවතී. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිහි වීම පිණිස ස්මාරකයක් තනවා තිබේ. අම්පාරට එන ඕනම සංචාරයකු මෙම ස්මාරකය දැක බලා ගැනීමට අමතක නොකරති. අරන්තලාව මහ භික්ෂු ඝාතනයේ අනුස්මරණ වැඩසටහන වසරක් පුරා පැවැත්වීමට විද්‍යානන්ද පිරිවෙනේ විහාරාධිපති කිරිදිවැල්ල සෝමරතන හිමියන් ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා හා ගිහියන් පෙරමුණ ගෙන සිටිති. මෙම අනුවේදනීය සිදුවීමට වසර 27 ක් පිරීම නිමිති කරගෙන ආගමික වැඩසටහන් ගණනාවක් ජූනි 01 වැනි දින හා 02 වන දින සංවිධානය කර තිබේ.

ශ්‍රී ඉන්ද්‍රසාර නා හිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේලා අපවත් වුනේ සදාතනික සිහිවටනයක් වූ බෞද්ධ මධ්‍යස්ථානයක් ආරම්භ කරමිනි. බෞද්ධ මධ්‍යස්ථානය තුළ විශ්‍රාම ශාලාවට මුල් ගල තැබීමද දෙවන දින සිදු කිරීමට නියමිතය. අරන්තලා භික්ෂු ඝාතනයෙන් දිවි බේරාගත් එවකට ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්යවරයෙකු වූ පුත්තලම කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති වලල්ලාවිට විමලඥාන හිමි. කතරගම ධර්මදූත පාගමනක් හා අධ්‍යාපන චාරිකාවක් සදහා පිටත් වීමට අලුයම 3.00 ට පමණ පිබිදුණු නායක හාමුදුරුවන් වහන්සේ හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තුළ ඉමහත් උනන්දුවක් හා උද්‍යෝගයක් දක්නට ලැබුණා.

ඉන් පෙර දින රාත්‍රියේ විද්‍යානන්ද පිරිවෙනට වැඩම කළ නායක හාමුදුරුවෝ ගමනට සූදානම් සිටි සියලුම දෙනා කැදවා ගමනේ පරමාර්ථ හා අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබදව කාරුණිකව වටහා දුන්නා. එදිනම රාත්‍රි 10 ටපමණ නායක හාමුදුරුවෝ සියලු දෙනාම මහාවාපි විහාරයට කැදවාගෙන ගියා. සියලුම දෙනා ගමනට ලක ලැහැස්ති වුනා. විහාරයට කැදවාගෙන ගිය අප සියලුම දෙනා නාහිමිපාණන් වහන්සේ සමග තෙරුවන් පුදා දෙවියන්ට පිං දුන්නා. එහිදී නායක හාමුදුරුවෝ කෙටි අනුශාසනාවක් කළා. මේ වන විට රාත්‍රි 11 ට පමණ ඇති.

ජූනි 02 වැනි දින අලුයම තුනට පමණ පිබිද මුව දෙවීම් ආදිය කොට විහාර මන්දිරයට ගොස් නායක හාමුදුරුවන් සමග තෙරුවන් නැමදීම ආදි වතාවත් කළා. දෙවියන්ට පිං දුන්නා.ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් 60 ශ්‍රී පිරිස රැගත් බස් රථය මහාවාපි විහාරයෙන් නික්ම නුවර දෙසට ඇදෙන්නට වුණා. නුවර හරහා කැළණිය වෙහෙර වැද පුදාගෙන ඓතිහාසික කලුතර බෝධිය වැද පුදාගෙන පා ගමනින් ධර්ම ප්‍රචාරය කරමින් කතරගම ගම් උදා භූමිය තෙක් වැඩම කිරීමටයි නියමිතව තිබුනේ.

කිසිදු බාධාවකින් තොරව බස් රථය ඉතා වේගයෙන් නුවර බලා ධාවනය වෙන්නට පටන් ගත්තා. අරන්තලාව හරියේදී ලංකා පෝර සංස්ථාවේ කුඩා ලොරියක් අඩි පාර දෙසට ධාවනය වෙමින් පැවතුනා. ඉන් ස්වල්ප දුරයි යාමට ලැබුනේ. මාර්ගයේ වම්පස යුධ හමුදා ඇදුමින් සැරසුන සෙබලෙකු සිටින බව පෙනුනා. ඔහුගේ සංඥාව අනුව බසය නැවතුනා. අපි එක එල්ලේම සිතුවේ ඒ හමුදා භටයකු බවයි. ක්ෂණිකව හතර පස් දෙනෙක් කැති පොලු සහ කඩු අතැතිව බසය ළගට ආවා. මොවුන් ආවේ පාරේ වම් පැත්තේ සිටයි. ඔවුන් ත්‍රස්තවාදීන් බවත් දැන් හොදින්ම කාටත් වැටහිලා. හැම දෙනාම තැතිගෙන සිටියා.

අවිගත් ත්‍රස්තවාදියෝ බසයට නැග වාහනය කැලයට ගන්නැයි රියදුරු මහතාට කිවුවා. එවිට ඔහු මේ ස්වාමීන් වහන්සේලා වඩින්නේ වන්දනා ගමනක්. කරදර කරන්ඩ එපා යැයි කිවුවා. ඉතාමත් බැගෑපත්ව එසේ අයැදි සිටියත් එය ගණනකට නොගත් ත්‍රස්තවාදීන් ඔහුගේ හිසට ගිනි අවිය එල්ල කර රථය පාරේ වම්පස තේක්ක කැලයට ගෙන ගියා. තමන් අසීරු අවස්ථාවකට පත්ව ඇති බවත් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අසු වූ බවත් අනතුරක් ලග ඇති බවත් නා හිමියන්ටත් අන් අයටත් තේරුණා. පත්ව ඇති භයානකකම තේරුනේ බසය තේකක කැලෑවට හරවන විටයි. බියෙන් තැතිගත් සැවොම මරහඩ දෙන්නට පටන් ගත්තා. බසයේ ඒ මේ අත දුවන්න පටන් ගත්තා. ඉදිරියේදී සිදු වෙන්නට යන මහා විපතක පෙර ලකුණු දැනෙන්නට වුණා.

කුඩා කැලෑ පදුරු වලට මුවා වී පාර දෙසට ගිනි අවි අමෝරාගෙන දහදෙනෙක් පමණ පේලියට හිටියා. තව ටිකක් ඈතට යනකොට 20 ක් පමණ පිරිස පැමිණ බසය වට කරගත්තා. සමහර අය බසය කැලයට තල්ලු කළා. බසය තේක්ක කැලෑවට ඇදුනේ ඉතා සෙමින්. ගෙයක් දොරක් හෝ කිසිම මිනිස් පුල්ටක් නැති හරියක්. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් ඇසුණු මර ලතෝනිය මුලු තේක්ක වනය පුරාම දෝංකාරය දෙන්නට වුණා. හැම දෙනාම හිටියේ මර බියෙන්. තව සුලු වේලාවකදී සිදුවන්නට යන විපත නා හිමිපාණන්ටද තේරෙන්නට ඇති. නමුත් කරන්නට දෙයක් නෑ. සියලු දෙනාම අසරණයි. දහම් බෙරය වයන්නට රුහුණට වැඩම කරමින් සිටි නායක හාමුදුරුවෝ මාව මරන්න. මේ පොඩි අයට කරදරයක් කරන්න එපා යැයි පැවසුවා. නා හිමියන්ට කියන්න ලැබුනේ එපමණයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කල නිවේදනය.

අරන්තලා භික්ෂු ඝාතනය ත්‍රස්තවාදයේ බිහිසුණු මතකයක්

අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවී 2020.06.02 දිනට වසර 33ක් සපිරේ. මේ මහා භික්ෂු සංහාරය අප හැඳින්විය යුත්තේ රාජධානි යුගවල ලංකාව යටත්කර ගැනීමට ආ පරසතුරන් විසින් සිදුකළ මහා භික්ෂු සංහාරවලින් පසු සිදුවූ දරුණුතම සංහාරය ලෙසයි.

මෙම භික්ෂු සංහාරය සිදුවන විට ශ්‍රී ලංකාව මුළුමනින්ම පැවැතියේ අරාජික තත්ත්වයකය. පුරාණ දිගාමඩුල්ල රාජධානිය හැටියට සැළකෙන අම්පාර ප්‍රදේශයේ සිංහල ගම්මානවලට ප්‍රහාර එල්ල කරමින් දරුවන්, කාන්තාවන් අමු අමුවේ මරා දමමින් ඔවුන් එම ප්‍රදේශවලින් පළවාහැරෙමින් තිබිණි. ලාහුගල, උහන, දමන, දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව, මහඔය ආදී ප්‍රදේශවල ගම්මානවල ජනතාව නිරන්තරයෙන් කපාකොටා මරාදැමෙමින් තිබිණි. බුදුදහම ආරක්ෂා කිරීමට සහ එය පෝෂණය කිරීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව බැඳී සිටිය ද මහා සංඝරත්නයටවත් ආගමික සිද්ධස්ථානවලටවත් එදා කිසිදු ආරක්ෂාවක් හෝ පෝෂණයක් ලැබුණේ නැත. එබඳු තත්ත්වයක් යටතේ හෑගොඩ ඉන්ද්‍රසාර ස්වාමීන්වහන්සේ අම්පාර ප්‍රදේශයට වැඩමකර අම්පාර මහාවාපී පිරිවෙන, විද්‍යානන්ද පිරිවෙන ඇතුළු පිරිවෙන් රාශියක් ගොඩනංවා බිඳවැටෙමින් තිබූ බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළ සේක. අරන්තලාව ආදී ගම්මානවල සිදුවූ මනුෂ්‍ය ඝාතන හෙලාදකිමින් කටයුතු කළ උන්වහන්සේ නිහඬ කිරීමට එදා කොටි ත්‍රස්තවාදීන් තීරණයක් ගත්තේය. තම ශිෂ්‍යවරයන්වහන්සේලා 41නමක් රැගෙන වන්දනාගමනක යෙදී සිටිය දී ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකොට භික්ෂූන්වහන්සේලා 31නමක් එතැනම මරාදැමූහ. අවසාන මොහොතේ ද හෑගොඩ ඉන්ද්‍රසාර ස්වාමීන්වහන්සේ ඉල්ලා සිට ඇත්තේ තමන් ඝාතනය කරන ලෙසත් තම ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාට හානියක් නොකරන ලෙසත්ය.

එබඳු ම්ලේච්ඡ ප්‍රහාරයක් සිදුවුව ද එකල පැවැති රජය භික්ෂූන්වහන්සේලාගේ ශාසනය සහ විහාරස්ථානවල ආරක්ෂාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. 2005 වසරේ අප විසින් ගෞරවනීය සාමයක් ගෙනඒම සඳහා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන තුරු කිසිවකුට ජීවිතය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැත. 2009 වන විට අප රුදුරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමා බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි අභය භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කළෙමු.

එහෙත් 2015න් පසු අඳුරු දසාවක් බුද්ධශාසනයට එළැඹුණු බව අප කවුරුත් දනිමු. ත්‍රස්තවාදීන් සිදුකළ කායික ඝාතනයන්ට නොදෙවෙනි ආකාරයට භික්ෂූන්වහන්සේලා මානසික ඝාතනයට නතු කෙරිණි. ඒ අනුව භික්ෂූන්වහන්සේලා චීවරධාරීන් ලෙස ද විහාරස්ථානවල පිං පෙට්ටි සීල් තැබිය යුතු බවට ද සළකමින් භික්ෂූන්වහන්සේලා හිරේ විලංගුවේ යවමින් කටයුතු කළා පමණක් නොව භික්ෂුවකගේ දේහයක් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වැළලීමට ඇති අයිතිය ද අහෝසි කෙරිණි.

මහා සංඝරත්නය අනන්ත නින්දා විඳිමින් පැවති තත්ත්වය වෙනස්කර ගැනීමේ ප්‍රාර්ථනයෙන් යුතුව නව නායකයෙක් රට වෙත ලබාදීමට කටයුතු කර ඇත. මේ වන විටත් ජනාධිපතිතුමා විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා අතීතයේ සේම වර්තමානයේ සිදුවන්නා වූ අගතීන් තුරන් කිරීම සඳහා අවධානය යොමු කර ඇත. මේ සියල්ල උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවි පිදූ හෑගොඩ ඉන්ද්‍රසාර හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයට උපහාර පිණිස වේවා යැයි ප්‍රාර්ථනා කරමි

????????????????????????????????????

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares
error: Content is protected !!